top of page
LOGO 4 - Copy (2).png

එළුවන්කුලමේ වඩු කුරුල්ලන් මියයාමේ ශෝකජනක සිද්ධිය...


කුරුළු ලොව ඉතාමත් දැකුම්කළු මෙන්ම ඉතා නුවණක්කාරී අයුරින් තම කූඩුව සකසන වඩු කුරුල්ලා සොබාදහමේ අපූර්ව නිර්මාණයක් ලෙස හදුන්වන්න පුළුවන්. එය එසේ වුවත් ගොවි ජනතාව නම් මේ වඩු කුරුල්ලන්ව සලකන්නේ ඔවුන්ගේ වගාවන්ට හානි කරන සතෙකු ලෙසයි. මේ නිසාම පසුගිය දිනෙක පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුලම ප්‍රදේශයේ වඩු කුරුල්ලන් පන්සියයක් පමණ වස දීම මගින් මරා තමා තිබුණි. මියගිය කුරුල්ලන්ගේ විෂ ශරීරගත වූ මළ සිරුරු ආහාරයට ගැනීම මගින් වෙනත් විශාල සතුන් ද මියගොස් තිබුණි. වගා බිම් ආශ්‍රිතව බත් වැනි ආහාරවලට වස මිශ්‍ර කර ඒවා තැබීම හේතුවෙන් මේවා ආහාරයට ගන්නා කුරුලු රංචු පිටින් විනාශ වේ. එමෙන්ම මෙම මියගිය මළකුණු ආහාරයට ගන්නා අනිකුත් බල්ලන් හා කපුටන් වැනි සතුන් ද වස ශරීර ගත වී මිය යයි. වර්තමානයේ වනවිට බහුලව සිදුවන මෙවැනි සැහැසි ක්‍රියාවන් පාලනය කිරීමට රජය කඩිනමින් මැදිහත් වී විසඳුම් ලබාදිය යුතුය. සතුන් මරන්නන්ට එරෙහිව රටේ නීතිය වෙනස් නොවෙන්න කිසිදු වන සතෙක් ඉතිරි නොවෙයි.


මිනිසුන් නිතරම සිතන්නේ ඔවුන්ට වාසි වෙන අයුරින් සතෙකු කරදරකාරී නම් මරා දැමිය යුතු යැයි කියා වුවත්, කුරුල්ලන් යනු පරිසර පද්ධති තුලිතාවයට එකිනෙකා හා තිබෙන බන්ධුතාවය පවත්වාගෙන යාමට දායක වන ආහාර දාමයක වැදගත් පුරුකක්. මොහොතක් සිතා බලන්න... මේ ආකාරයට කුරුල්ලන් මෙලොවින් සදහටම තුරන් කළොත් කුමක් සිදුවේවිද? මෙයින් සිදු වන්නේ සිතාගත නොහැකි මහා විනාශයකි .මල් ඵල හට ගැන්වීම සඳහා පරාගන කටයුතු සිදු කරන්නේ කුරුල්ලන් විසිනි. කුරුල්ලන් නැති වූ කල මිනිසා ද ආහාර නොමැතිව මිය යනු ඇත.

මිනිසා විසින් පරිසරය ආක්‍රමණය කර පරිසරයේ ස්වභාවිකත්වය නැති කරමින් සතුන්ගේ වාසභූමි ව තිබූ වනාන්තර එළි පෙහෙළි කර ඒවායේ සතුන් කැමති ආහාර වගා කරති. ඉන් පසු වගාවට හානිකර යැයි පවසමින් සැහැසි ලෙස එම සතුන් මරා දමති. අතීතයේ සිටම වගාවට හානි කරන ජීවියෙක් පැමිණි විට එළවා දැමීම, වැටක් ගසා ආරක්ෂා කිරීම වැනි ක්‍රමවේද මෙන්ම හානිකර සතුන් විස්තාරණය කිරීමට අතීතයේ දී කුරුලු පාළුව වැනි ක්‍රම භාවිතයේ තිබුණි. නමුත් මේ වන විට පළිබෝධකයන් නසා දැමීම වැනි ඉතා අන්තවාදී කටයුතු වලට පෙළඹී වගාවට හානි කරන ජීවීන් අනුකම්පා විරහිතව විනාශ කර දමති. සත්ත්ව ගහණය වර්ධනය වීම පාලනය කිරීමට ඔවුන්ව වස දී ඝාතනය කිරීම කෙසේ අනුමත කරන්නද? කුරුල්ලෙක් කියන්නේ පොඩි සතෙක් නේද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කුරුල්ලන් පන්සියයක් ම එකවර මිය යාම කෙතරම් ඛේදනීය තත්ත්වයක් ද?

එලෙස ඝාතනය කිරීම ස්වභාදහමේ රීතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. සතුන්ටද කුසගින්නෙන්, පිපාසයෙන් අපහසුවෙන්, වේදනාවෙන්, බියෙන්, ආතතියෙන් තොරව ජීවත් වීමට අයිතියක් තිබෙන බව මිනිස් සමාජය දැනුවත් විය යුතුයි. මේ පුත්තලම දිස්ත්‍රික්කයේ සිදු වූ එක් සිදුවීමක් වුවත් වර්තමානය වන විට සත්ව වාසභූමි එළි කරමින් මිනිසා හේන් ගොවිතැන හා අනිකුත් ගොවිතැන් කිරීමේදී ඒවාට හානි කිරීමට පැමිණෙන මෙවැනි වඩු කුරුල්ලන් , වී කුරුල්ලන්, මොනරුන් සහ රිලවුන් වස දීම මගින් මරා මරා දැමීම සිදු කරනු ලැබේ. නමුත් අතීතයේ පටන් සතුන්ගේ වාස භූමිව තිබූ වනාන්තර එළි කර ඒවායේ මිනිසා විසින් ඒවා අත්පත් කර ගැනීමට එම සතුන් කුමක් කරන්නද? ඔවුනුත් වාසස්ථාන සහ ආහාර සපයා ගත යුතු නොවේද? මේ අසරණ සතුන්ට කාගේ පිළිසරණක් ද?


වර්තමානය වන විට මේ සතුන් හිංසනයෙන් බේරා ගැනීම ආගම හෝ හර පද්ධතියකට පමණක් සිදුකළ නොහැක්කකි. සතුන් පිළිබඳව ගෞරවයකින් හා ලයාන්විත බවකින් සලකපු අපේ පැරැන්නන්ගේ චින්තන රටාවට හාත්පසින් වෙනස් විදියට අද මෙරට සමාජයේ ආකල්ප හැඩ ගැසී තිබෙන නිසා මේ ගැටලු විසඳීමට නෛතික සංවිධානාත්මක බවක් අත්‍යවශ්‍යයි. එසේ වුවහොත් අඩුම තරමින් දඬුවමට ඇති බිය නිසා හෝ මිනිසා මේ ආකාරයට සතුන් මරා දැමීමෙන් වැළකී සිටිනු ඇත. මේ වන විට වගාවන්ට හානිකරන සියලු සතුන් වන ජීවී ආඥා පනත යටතේ ආරක්ෂිත සතුන් ලෙස නම් කර තිබේ. එබැවින් ඒ කිසිදු සතෙකු කවර හේතුවක් නිසා හෝ ඝාතනය කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස හැදින්වුවත් අප රටේ නීතිය සැබවින්ම මේ සඳහා අවශ්‍ය මට්ටමට දියුණු වී නැති බව ප්‍රකාශ කළ යුතුයි.


තමන් සතුනට සලකන සලකන ආකාරයෙන් තම ජාතියේ ශ්‍රේෂ්ඨත්වය මැනිය හැකි බව වරක් මහත්මා ගාන්ධිතුමා ප්‍රකාශ කර ඇත. මනසින් උසස් ජීවත් කොට්ඨාසයක් ලෙස අප කල යුත්තේ වගාවන්ට හානි කරන සතුන් ඝාතනය කිරීම නොව සතුන්ද ආරක්ෂා කර ගනිමින් ඔවුන් සමග සහජීවනයෙන් ජීවත් වීමයි. එය අප කාගේත් යුතුකමක් මෙන්ම වගකීමකි.


Written By: Rtr. Dilki Madushika


Comments


bottom of page