top of page
LOGO 4 - Copy (2).png

කඳුකරයේ මැණික සැඟව යාමට ඉඩ නොදෙමු...


එදිනෙදා ජීවිතයේ දී පුද්ගලයන් අතර බහුලව හුවමාරු වන රුපියල් 50 නෝට්ටුවේ සටහන් වන අලංකාර පක්ෂියා පිළිබඳව ඔබ දැන සිටියා ද?


ඒ ශ්‍රී ලංකාවට ආවේණික වූ "ශ්‍රී ලංකා අඳුරු නිල් මැසිමාරා" නොහොත් " ශ්‍රී ලංකා අනුමැසිමාරා "ය. (Sri Lanka Dull - blue flycatcher / විද්‍යාත්මක නාමය - Eumyias sordida) මුහුදු මට්ටමේ සිට 600 m කට වැඩි උසින් පිහිටි කඳුකර සහ උප කඳුකර වනාන්තරවල පමණක් දැකිය හැකි ඉතාමත් අලංකාර පක්ෂි විශේෂයක් වන මොවුන් දිගින් 15 cm ක් පමණ වේ. ගැහැණු සහ පිරිමි මැසිමාරාවුන් වෙන් කොට හඳුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවූවත්, ඔවුන්ගේ අභිජනන සමයේ දී යම් විවිධත්වයක් දැක ගැනීමට ලැබේ. එනම්, පිරිමි මැසිමාරාවුන්ගේ නළලත දීප්තිමත් නිල් පැහැයකින් දිස් වන අතර ගැහැනු මැසිමාරාවුන්ගේ මෙම පැහැය මඳක් අඩුවෙන් දිස් වේ. නමුත් කුඩා මැසිමාරා පැටවුන් පහසුවෙන් හඳුනාගත හැකි වන්නේ දුඹුරු පැහැ ශරීරය පුරා විසිරුණු කුඩා තිත් රටාවන්ගෙන් ය. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, පිදුරුතලාගල සහ හක්ගල යන ස්ථාන මෙම අඳුරු නිල් මැසිමාරා දැකගත හැකි ස්ථානවලට නිදසුන් වේ.


නමුත් මෙහි ඇති ඛේදවාචකය වන්නේ International Union for Conservation of Nature (IUCN) මඟින් මෙම නිල් මැසිමාරාවුන් වඳ වීමේ තර්ජනයට ලක් වූ පක්ෂි විශේෂයක් ලෙස නම් කොට තිබීමයි. මිනිස් ලෝකයට සුන්දරත්වයක් මෙන්ම අගනා ජෛව විවිධත්ව වටිනාකමක් මිහිතලයට හිමි කරන මොවුන්ගේ වඳ වී යාමට බලපාන හේතු අතරින් ඉහළින්ම පවතින්නේ මානව ක්‍රියාකාරකම් තුළින් ඇති වන්නා වූ බලපෑම්ය.

  • මිනිසුන් විසින් කෘෂිකාර්මික කටයුතුවල දී භාවිතා කරන වල් නාශක, කෘමි නාශක වැනි රසායනික ද්‍රව්‍ය ඔස්සේ කෘමි සතුන් තුළ විෂ එක්රැස් වීමෙන් අනතුරුව එම කෘමි සතුන් ආහාරයට ගන්නා නිල් මැසිමාරාවුන් තුළ විෂ එක්රැස් වේ. දිගුකාලීනව ශරීර අභ්‍යන්තරය තුළ විෂ ගබඩා වීම හේතුවෙන් මතු බිහිවන නව මැසිමාරා පරපුර අගාධයට ගෙන යාම ආරම්භ වේ.

  • එමෙන්ම මොවුන් අභිජනන සමයේ දී තම කැදලි තැනීම සිදු කරනු ලබන්නේ බිම් මට්ටමට ඉතා ආසන්න, වනෝද්‍යානවල මාර්ග දෙපස ඇති ගල් වැටි සහ ගස්වල බෙන යොදාගනිමිනි. එහි අහිතකර බලපෑම වන්නේ මෙම අවධියේ දී වනෝද්‍යානය තුළ අධික වේගයෙන් ධාවනය කරන රථ වාහනවල ගැටීමෙන් මෙම පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වන බවට වාර්තා වීමයි.

මිනිසුන්ගේ නොදැනුවත්භාවය හෝ නොසැලකිලිමත්භාවය නිසාවෙන් හෝ තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි මෙම සතුන්ට නිකරුනේ මියැදීමට සිදුවීම ඉතාමත් ඛේදජනකය. නුදුරේම වඳ වීමේ තර්ජනයට මුහුණ පාන මෙම "අඳුරු නිල් මැසිමාරා" පක්ෂීන් සංරක්ෂණය කිරීම කාලීන අවශ්‍යතාවයකි. මිනිසුන් වගාබිම්වලට එක් කරන කෘෂි රසායනික ද්‍රව්‍ය‍ය, කෘමීන් හරහා ශරීරයට ඇතුළත් වීම ඔවුන්ගේ අභිජනන ක්‍රියාවලියේ දී නිපදවන බිත්තරවල කටුව තුනී වීමට හා පැටවුන් මිය යාමට විශාල බලපෑමක් ඇති කරයි. කෘෂි රසායනික ද්‍රව්‍ය‍ය භාවිතය අවම කිරීමෙන්, බිහිවන නව මැසිමාරා පරපුර සුරක්ෂිත කිරීම අපගේ යුතුකමක් බව අවධාරණය කරගත යුතුය.


තවද, වනෝද්‍යානයකට පිවිසීමට පෙර එහි අභ්‍යන්තරික පරිසර පද්ධතිය සහ වෙසෙන සතුන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව පිවිසීම ද මෙම සතුන් සංරක්ෂණයට වඩා රුකුලක් වේ. අදාළ ප්‍රදේශය තුල ආරක්ෂාකාරී දුර ප්‍රමාණයක් පවත්වා ගැනීමට සංචාරකයින් දැනුවත් කිරීම සහ දැනුවත් වීම ද ඉතා වැදගත් සංරක්ෂණ ක්‍රියාමාර්ගයකි. එමඟින් වේගයෙන් ධාවනය කෙරෙන රථ වාහනවල ගැටීමෙන් මිය යන මැසිමාරා ගහණය අවම කරගත හැකි වනු ඇත.


මිනිස් ක්‍රියාකාරකම් හමුවේ ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය තුළ රුපියල් 50 නෝට්ටුවේ අගය අවප්‍රමාණය වනවාක් මෙන් නෝට්ටුවේ සැඟව සිටින මෙම සුන්දර පක්ෂියාගේ වටිනාකම ද අවප්‍රමාණය වීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුය. ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තරවල පමණක් දැකිය හැකි අප රටටම ආවේණික වූ මෙම "ශ්‍රී ලංකා නිල් මැසිමාරා" නම් පක්ෂියා මිහිතලයෙන් තුරන්ව යා නොදී සංරක්ෂණය කිරීම ඔබ, අප සැමගේ යුතුකමකි.


- Rtr. Chamika Nilakshi -


Kommentare


bottom of page