මව පියා ඇතුළු තමන්ගේ සමීපතමයින් වෙනුවෙන් හා රට, ජාතිය වෙනුවෙන් තම දිවි දෙවැනි කොට සටන් වැදුණු මිනිසුන් පිළිබඳව ලොව පුරා මෙන්ම ලංකාව තුළත් අතීතයේ පටන් අද දක්වාම අපි අසන්නෙමු. නමුත් ඔබ දන්නවාද? අදින් වසර 72 කට පෙර සිත් පිත් නැති මිනිසුන්ගේ කෲර ක්‍රියාවකින් තම වර්ගයා ගේ ජීවිත නිදහස් කර ගැනීමට සටන් වැදුණු දේව ගුණ ඇති තිරිසන් සතෙකු මේ මහ පොළොව මත ද වාසය කළේය. ඒ වෙන කිසිවෙකුත් නොව, ලංකාදීපයේ අතීතයේ සිටි ඇතැම් බලවතුන්ගේ ආත්මාර්ථකාමී අදහස් ජීවිත පරිත්‍යාගයෙන් නිවැරදි කළ පනාමුරේ හස්තිරාජයායි. මේ ඔහුගේ අනුවේදනීය කතාවයි.
පනාමුරය යනු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ගහකොළින් මෙන්ම සද්ධන්ත අලි ඇතුන්ගෙන් ද සපිරිණු නින්දගමකි. මෙම නින්දගමට හිමිකම් කිවේ මඩුවන්ගල වලව් පරම්පරාවයි. 1950 වසර වන විට මෙම නින්දගමේ හිමිකරු වූයේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කථානායක ප්‍රැන්සිස් මොලමුරේ මහතායි. මෙම නින්දගම වඩාත්ම සුප්‍රසිද්ධ වූයේ එහි කලක් තිස්සේ පවත්වාගෙන ගිය ඇත්ගාලවල් නිසාය. මෙම ඇත්ගාල අක්කර විශාල ගණනකින් යුක්ත වූ අතර වන අලි ආකර්ෂණය කර ගැනීමට සමත් "දිය බුබුළ" නම් ස්වභාවික ජල උල්පතක් ද එහි තිබුණි. අඩි දහයක් දොළහක් උසට වනාන්තරයෙන් ම කපා ගත් දැව කඳන් වලින් ඇත් ගාලේ වැට සාදා තිබුණි.
1950 වසරේ අගෝස්තු මස 8 වන දින අලුයම් කාලයේ මෙම ඇත් ගාලේ දොරටු වසා දැමුවේ සුපුරුදු පරිදි වතුර පොදක් සොයා දිය කඩිත්තට ඇදුණු 27 දෙනෙකුගෙන් පමණ යුක්ත වූ අලි රංචුවක් කොටු කරගනිමිනි. නමුත් එදින ඇත් ගාලේ මේ දැවැන්ත දොරටු වසා දැමුවේ අවසන් වතාවට බව මොලමුරේ මහතා කිසිවිටකත් නොසිතන්නට ඇත. මොලමුරේ මහතාගේ ආරාධනාවෙන් ඇත් ගාලේ ඇතුන් බැඳ දමන ඒ අමානුෂීය ක්‍රියාව විනෝදාංශයක් ලෙස නැරඹීමට එවකට රදළ ප්‍රභූවරු රැසක් පැමිණියහ. එදිනත් හීලෑ අලින් 14 දෙනෙකු හා ඇත්ගොව්වන් 8 දෙනෙකු පමණ ඇත්ගාල තුළට ඇතුළු වූහ. අලි ඇතුන් කොටුකර ගැනීමට ඔවුහු අනුගමනය කළේ දක්ෂ එනමුත් කෘෘර ක්‍රියාවලියකි. එක් වන අලියෙකුට හීලෑ, සටන්කාමී අලින් දෙදෙනෙකු යොදාගෙන පහරදෙමින් වන අලියා සටන්කාමී අලි දෙදෙනාට කිටිකිටියේ සිර කරගනියි. එවිටම වන අලියාගේ පසුපස පාද ශක්තිමත් කඹ යොදා ගෙන අසල ඇති ගසකට තබා ගැටගසයි. වන අලින්ට දමන මෙම ගැටය එකල "නවපොට විලංගුව" ලෙසින් හැඳින් වූ අතර එය අලියකුට කැඩීමට පවා සිතීමටවත් නොහැකි ගැටයකි.
පළමු දින එලෙසින් ඇත්ගාලේ කටයුතු ඇරඹියත් අලි දෙදෙනෙකු පමණක් එලෙස බැඳ ගැනීමට හැකිවිය. ඊට හේතුව වූයේ තම රංචුවේ නිදහස උදෙසා ඉතාමත් ප්‍රචණ්ඩකාරී ව හැසිරුණු ගාම්භීර නායක හස්තිරාජයායි. හීලෑ අලින්ට මැදි කර බැඳ දැමූ විට පාද රැහැන් වලට කැපී වේදනාවෙන් පිරි තම සහෝදර හස්තීන්ගේ කෑගැසීමක්.. මවගෙන් වෙන්කල කිරිබොන වයසේ පැටියකුගේ මව වෙත යාමට දරන උත්සාහයක්..මිනිස් වෙස්ගත් නොමිනිසෙකුගේ අතින් මෙලෙස තප්පරයෙන් තප්පරය වැඩි කරවන තම වර්ගයාගේ වේදනාවත් දැක සැබෑ නායකයෙකු කෙසේ ඉවසා දරා ගන්නද? බැඳ දමන ලද අලි ඇතුන් නැරඹීමට පැමිණි රදළ ප්‍රභූවරුන් ඇතුළු මිනිසුන් සියලු දෙනාම මාරාවේෂ වී පලවා හැරි නායක හස්තිරාජයා දෙවන, තෙවන දින වලදී ද ඉතාමත් කෝපාවිෂ්ඪ අයුරින් පහරකෑම් මධ්‍යයේ නිදහස උදෙසා සටන් වැදුණි. එකල අලි මන්තර මගින් අලි මෙල්ල කිරීමට සුප්‍රසිද්ධ සෑම් අලපාත මුලමුදලිතුමා හා දක්ෂ ඇත්ගොව්වන් කිසිවෙකුටත් මෙම නායක හස්තියාව මෙල්ල කිරීමට හැකි වූයේ නැත.
4 වන දිනය වන විට අලි රංචුවේ සියලුම අලින් බැඳ දමා හමාර විය. එහෙත් ධෛර්යසම්පන්න නායක හස්ති රාජයා තවමත් නිදහස වෙනුවෙන් සටනේය. දමන රැහැන් බිඳදමමින් හීලෑ අලින්ට ද පහර දෙමින් හැසිරෙන මෙම හස්තියා නිසා ඇත්ගාල තුළ සියලු කටයුතු අඩපණ වී තිබුණි. නායක හස්තියා අල්ලා ගැනීමට දැරූ සියලු ව්‍යාර්ථයන් අසාර්ථක වූ කල මොලමුරේ මහතා අවසානයේ දී මේ කරදරකාරයා වනයටම පලවා හැරීමට ඇත්ගාලේ දොරටු විවෘත කළේය. තම ජීවිතය බේරා ගෙන නිදහස් ජීවිතයක් ගත කිරීමට ලැබුණු එම අවසන් අවස්ථාව ඔහු ප්‍රයෝජනයට ගන්නට ඇතැයි ඔබට සිතෙන්නට ඇත. නමුත් සිදු වූයේ එය නොවෙයි. සැබෑ නායකයකු ගේ උදාර ලක්ෂණ හුවා දක්වමින් පලායාම පසෙක තබා තම රංචුවේ සහෝදර හස්තීන් නිදහස් කරගැනීමට ඔහු තවදුරටත් ප්‍රචණ්ඩකාරී ලෙස සටන් වැදුණේය.
තම වර්ගයාගේ චිරස්ථිය උදෙසා පහරකෑම් හා වෙහෙස දරාගෙන දවස් ගණනක් ගෙන ගිය මාරාන්තික සටන අත් අත්නොහරිනට නායක හස්තියා දරන වෑයම එවකට එම දසුන ඇසින් දුටු මානුෂීය හදවත් ඇති සියල්ලන්ගේම නෙත් කඳුලින් තෙමන්නට සමත් විය. මේ වන විට රට තුළ මොලමුරේ මහතාගේ මෙම කෲර ක්‍රියාවට එරෙහිව දැඩි ජනමතයක් පැන නගිමින් තිබුණි. ශ්‍රී ලංකාවේ සම සමාජ පක්ෂය හා එන්. එම්. පෙරේරා මහතා වැනි වාමාංශික නායකයින් රැසක් කතානායක ට එරෙහිව චෝදනා කළහ.
අවසානයේ දී මොලමුරේ මහතා නායක හස්තියා ඇතුළු අලි රංචුව වනයට මුදා හරිනවා වෙනුවට නායක හස්තියාට වෙඩි තබා ඝාතනය කිරීමේ අමානුෂික තීරණයට එළැඹියේය. එවකට ලංකාවේ දක්ෂතම රයිෆල්කරුවකු වූ සෑම් කදිරගාමර්ට මේ උදාර නායක හස්තියාට වෙඩි තබා ඝාතනය කිරීමට මොලමුරේ ගෙන් අණ ලැබුණි. රයිෆලය ඉදිරියට එල්ල කරගත් වෙඩිකරු ඇත් ගාලට ඇතුළු වූ වහාම අතිශය පිළිකුල් සහගත වූ මිනිස් ඉව දැනුණු නායක හස්තියා මාරාවේෂ වී පමණට බඳු වේගයෙන් ඔහු වෙතට දිව එන්නට විය. වෙඩික්කරු නොසැලී හස්තිරාජයාගේ හිසට ඉලක්කය ගෙන මහ හඬින් රයිෆල් උණ්ඩය මුදාහැරියේ දේව ගතිගුණවලින් හෙබි සද්ධන්තයාගේ සිරුර මහ පොළව මතට පතිත කරමිනි. මෙලෙස දිවිපිදූ හස්තිරාජයා එතැන් පටන් "පනාමුරේ ඇත් රජු" ලෙසින් මිනිසුන් හැඳින්වූහ. එදින රෑ පහන් වන තුරුම හස්තිරාජයාගේ දැවැන්ත දේහය ඇත් ගාල තුළ දැවී, ඔහුගේ අළු උඩු සුළඟට මුසුවී රැහැනින් බැඳි අනෙක් හස්තීන්ගේ සිරුරු ස්පර්ශ කරමින් හමා ගියේය.
අවිහිංසාවාදය මුල්කරගත් ලංකාව තුළ දිනෙන් දින පැනනැගී ජනතා විරෝධය මොලමුරේගේ රදළ බලය ඉක්මවා ගියේය. අවසානයේ දී රජයට ලංකාව තුළ සදහටම සජීවී අලි ඇතුන් අල්ලා ගැනීමේ මෙවැනි හිංසාකාරී ඇත්ගාල් තහනම් කරන්නට සිදුවිය. උපන් මොහොතේ සොබාදහමින් ලැබෙන හුස්ම පොද ලබා ගෙන ජීවත් වී අවසන් හුස්ම පොදත් සොබාදහමට මුදාහරින මිනිසෙකුට ඉඩෝරයට වතුර පොදක් සොයා දිය කඩිත්තට ඇදෙන අලි රංචුවක සිටින අලින්, ඇතින්නියන්, කිරිබොන පැටවුන් හා ගැබ්බර ඇතින්නියන් ආදිය අල්ලා එකිනෙකාගෙන් වෙන්කර වෙන්දේසියේ විකිණීමක් පිළිබඳව සිතීමට වත් හැකි වූයේ කෙසේද? තම රංචුවේ සඟයින් නිදහස් කරගැනීමට පනාමුරේ ඇත් රජුට නොහැකි වුවත් ලංකාව පුරා සිටින හා අනාගතයේ බිහිවන අලි ඇතුන්ටත් අභයදානය දෙන්නට දවස් ගණනක් ඔහු ගෙන ගිය මාරාන්තික සටන හේතු සාධක විය. රටපුරා කවි කවිකොළ හා පුවත්පත් තුළ මෙම හස්තිරාජයාගේ පුවත පළවූ අතර සුගතපාල මලලසේකර මහතා විසින් හස්ති රාජයා වෙනුවෙන් සුප්‍රසිද්ධ ගුවන් විදුලි ගීතයක්ද රචනා කරන ලදී.
අලි ඇතුන් යනු රළු සමක් හා දැවැන්ත ශරීරය ස්කන්ධයක් තිබූ පමණින් වේදනාව, විරහව, ජීවත්වීමේ ආශාව හා තම වර්ගයා කෙරෙහි ඇති ඇල්ම නොදැනෙන කළුගල් පර්වත නොවන බව මානව වර්ගයාට පසක් කරදෙන්නට ශ්‍රී ලංකාවේ සමස්ථ අලි පරපුරම මිනිසුන්ගේ වහල් භාවයෙන් මුදවා ගැනීමට අනේක වේදනා විඳ මිය යනතුරු සටන් වැදුණු පනාමුරේ හස්තිරාජයාගේ වීරත්වයට හැකිවිය.
Written By: Rtr. Samodi Randika Perera
Comentarios