top of page
LOGO 4 - Copy (2).png

දිවියන්ගේ දිවිය...


දිවියා, යන යෙදුම සියවස් ගණනාවක සිට ම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමාණයේ සතුන් සඳහා පොදුවේ භාවිතා කර ඇත. නමුත් දිවියා යන්න කියූ පමණින් අපගේ මතකයට නැඟෙන්නේ එක්තරා කලක සිදු වූ සාහසික සිදුවිමකි. ඒ කිලිනොච්චිය, අබන්කුලම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් පහර දී මරා දැමු දිවියාගේ ඛේදජනක කථාපුවතයි.

වන සතුන් කැලෑ වදින්නේය. එය ඔවුන්ගේ වාසභුමියයි. නමුත් ඔවුන් ගම්වදින්නේ නම් එයට මුලිකම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ වාසභූමි, මිනිසුන් විසින් ආක්‍රමණය කොට අප විසින් ගම්මාන බවට පත් කරගැනීමෙන් ඔවුන්ගේ වාසභූමි වඩා පටු හා සීමාවීමක් සිදු වී ඇති නිසාය යන්න සමස්ත මිනිස් ප්‍රජාවටම අමතක වී ඇත. තම වාසභූමිය කුඩා වන විට, සපයාගැනීමට ආහාර මද වන විට ඔවුන් ගම්වැදිමට ආරම්භ කිරීම පුදුමවිමට කරුණක් නොවේ. දිවියන් ගම්වැදීම මිනිසුන්ට බියදනවන කරුණක් වනවා සේම කෙතරම් දරුණු ගණයේ සතකු වුවද තම දිවිය බේරාගැනීමට බිය වන්නේය. ඔවුන් තමාගේ ආරක්ෂාව පිණිස පහර දීම සිදු කරයි. එලෙස ඔවුන්ගෙන් මිනිසුන්ට මෙන්ම මිනිසුන්ගෙන් ඔවුන්ටද සිදුවන හානි අවම කරමින් සතුන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ වනජීවී නිලධාරින්ටය.


නමුත් වනජීවී නිලධාරීන්ගේ කාර්යභාරය අපොහොසත් වූ විටෙක පොලු මුගුරු, උදළුවලින් වටකරගෙන පහර දෙන විට අසරණ වන දිවියා අවසන් හුස්ම හෙලද්දී මිලේච්චත්වය, වීරත්වය ලෙස ආරුඪ කරගත් මිනිසුන් පිරිසක් විසින් මල සිරුරට වද දෙන අයුරු සෙල්ෆි චායාරුප ගත කරන්නට තරම් මිනිසුන් කුරිරු වුයේ කෙසේ දැයි අදහා ගත නොහැකිය. තරහකාරයෙකුට වුවද දුකක්, කරදරයක් වූ කලක අනේ හපොයි... කියනා කලක සිට අනේ හොද වැඩේ... යැයි කියනා කාලයක් දක්වා අඳ බාලයන්ගෙන් පිරුණු සමාජයක් බවට පරිවර්තනය වී තිබීම ඉතාම ඛේදජනකය.

මෙය එක් සිදුවීමක් පමණි. මෙවන් සිදුවීම් ගණනාවක් සිදු වුවා මෙන්ම තවමත් සිදුවෙමින් පවතී. සත්වයින්ගේ වාසභූමි ප්‍රමාණය වැඩිවීමක් සිදුවන්නේ ද නැත. සත්වයින්ගේ භුමිය ආක්‍රමණය කරමින් මිනිසුන් වාසස්ථාන තනා ගැනීම අඩුකිරීමක් සිදුවන්නේ ද නැත. එහෙයින් සත්වයින් ගම්වැදිම අවම වීමක් බලාපොරොත්තු වීම සිනහවට කරුණකි.


කවර ගණයේ දරුණු සත්වයෙකු වුව ද මරා දැමීමට කිසිදු අයිතියක් අප සතුව නොමැත. ඔබ, අප මෙන්ම සෑම සත්වයෙක්ම ස්වභාවධර්මයේ නිර්මාණයන්ය, පාර්ශවකරුවන්ය. ජීවත්වීමේ අයිතිය ඔබට පවතින අයුරින්ම සෑම සත්වයෙකුටම පවතී. විසඳුම විය යුත්තේ ඔවුන් මරා දැමීම නොව ඔබ මෙන්ම ඔවුන්ව ද ආරක්ෂා කරගැනීමයි. රජය, වනජීවී නිලධාරීන් පමණක් නොව ඔබ, අප සැමගේ වගකීම විය යුත්තේ ද එයයි.


Written By: Rtr. Chamika Nilakshi


Comments


bottom of page