top of page
LOGO 4 - Copy (2).png

පොලිතින් හා ප්ලාස්ටික් මඟින් සිදුවන සාගර දූෂණයේදී කැස්බෑවන්ට අත්වන ඛේදනීය ඉරණම...


මඳකට සිතන්න, අප ඉදිරියේ මේසයක් මත අපේ ප්‍රියතම ආහාරයක් තිබෙන බව. අපට එය ආහාරයට ගැනීමට හැකියාව ඇත්නම් දෙවරක් නොසිතාම එය ගිල දැමීමට ඔබත් මාත් නොපසුබට වන බව නම් නොඅනුමානයි. ඉතින් මෙය මිනිසාට පමණක් ස්වභාවික වූ සංසිද්ධියක් නම් නොවේ. වසර මිලියන 150 කටත් වැඩි කාලයක් සිට මුහුදු කැස්බෑවන් සාගර ජලයේ ජීවත් වන ජෙලිෆිෂ්වරුන්, මුහුදු පැලෑටි ආදිය ආහාරයට ගනිමින් සාගරය තම නිවහන කරගත් නමුත් වර්තමානය වන විට ප්ලාස්ටික් හා පොලිතින් වලින් පිරීගිය සූපයක් බවට පත්වූ මහා සාගරය ඔවුන්ට සොහොන් බිමක් වී අවසානය. මුහුදු කැස්බෑවන් බොහෝවිට සාගර ජලයේ පාවෙන පොලිතින් බෑග් තම ප්‍රියතම ආහාරයක් වන ජෙලිෆිෂ් සතුන් ලෙසත් මාළු දැල්, ප්ලාස්ටික් දැල් ආදිය රසවත් මුහුදු පැළෑටි ලෙසත් වරදවා වටහා ගෙන ඒවා ආහාරයට ගනී. බොහෝ කැස්බෑවන්ගේ අවසන් ඉරණම වන්නේ කුසගින්නේ සිට ප්ලාස්ටික් වලින් බඩ පුරවා ගෙන මිය යාමයි.


මිනිසුන් වාර්ෂිකව සාගරයට ප්ලාස්ටික් ටොන් මිලියන 8කට වඩා වැඩි ප්‍රමාණයක් මුදා හරින බව පර්යේෂකයන් විසින් සිදුකරන ලද වාර්තා මගින් හෙළිවී ඇත. අද වන විට මේ මහා විනාශයේ ප්‍රමාණත්වය සෑම මිනිත්තුවකටම ප්ලාස්ටික් ට්‍රක් රථයක් සාගරයට මුදා හැරීමකට සම කළ හැකි තත්වයට පත්වී තිබේ. මුහුදු කැස්බෑවන් පමණක් නොව තල්මසුන්, අනෙකුත් සාගර ක්ෂීරපායින් සිය දහස් ගණනක් සහ මුහුදු කුරුල්ලන් මිලියනයකට වඩා වාර්ෂිකව සාගර දූෂණය හා සමුද්‍රාසන්න සුන්බුන් තුළ සිරවීම හේතුවෙන් මිය යති. බොහෝ අපද්‍රව්‍ය මුහුදට ගලා එන්නේ ගංගා හරහා වන අතර 80% ක්ම ගොඩකිරීම් සහ වෙනත් නාගරික ප්‍රභවයන්ගෙනි. පැසිෆික් සාගරයේ “මහා පැසිෆික් කුණු කන්ද” නමින් ටෙක්සාස් හි ප්‍රමාණයට ආසන්න විශාල ප්‍රදේශයක් තිබෙන අතර එහි සුන්බුන් අඩි 20 ක් (මීටර් 6) ක් පමණ දුරට ජල තීරයට විහිදේ. ටොන් මිලියන 3.5 ක පමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු මෙම "ප්ලාස්ටික් දූපත" ඒ මහා දූෂණයේ ප්‍රබල සාක්ෂියක් වන අතර ඉදිරි වසර 5 තුළ එය දෙගුණයක් විය හැකි බවද වාර්තාවේ.


අනෙක් සාගර ජීවීන් හා සසඳන විට මුහුදු කැස්බෑවන් මෙම ප්ලාස්ටික් දූෂණය හේතුවෙන් සාගරයේ දී මෙන්ම ගොඩබිමේදීද ඛේදනීය ඉරණමකට මුහුණ දෙති. මුහුදු කැස්බෑවන් බිත්තර දමන්නේ වෙරළේ වලවල් හෑරීමෙනි. මුහුදු වෙරළේ ගොඩ ගැසී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා ගැහැණු කැස්බෑවාන්ට වලවල් හාරා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් සරලව බිත්තර දැමීම අත්හරිති. මුහුදු කැස්බෑ විශේෂ හතෙන් හයක්ම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර වැඩිහිටි කැස්බෑවෙකු තෙක් ජීවත් වන්නේ බිත්තර 1000 න් 1 ක් පමණි. එම නිසා මුහුදු කැස්බෑ විශේෂ වල පැවැත්මට ඉතා වැදගත් වන්නේ ගැහැණු කැස්බෑවන්ට සාර්ථකව බිත්තර දැමිය හැකි වීමයි. කුඩා කැස්බෑ පැටවුන් මුහුද දෙසට දුවන ආකාරය ලස්සන ඡායාරූප වලින් ඔබ දැක ඇති. නමුත් වෙරළ කසල වලින් පිරී තිබීමෙන් කැස්බෑ පැටවුන් ඒවායේ පැටලී සාගරයට ගමන් කිරීමට පෙර මුහුදු වෙරළේදීම මිය යති. කැස්බෑවන් ප්ලාස්ටික් ආහාරයට ගත් විට එමගින් ඔවුන්ගේ අභ්‍යන්තර අවයව වලට හානි සිදු විය හැකි අතර ආමාශයේ බඩවැල් අවහිර වීමටද හේතු වේ. මෙය ඔවුන්ගේ මන්දපෝෂණය, වර්ධන වේගය අඩු වීම සහ මරණයට හේතු වේ. මුහුදු කැස්බෑවන් දිනපතා මුහුණ දෙන තවත් තර්ජනයක් නම් ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර සිරවීමේ අවදානමයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය සෑම තැනකම, සාගරයේ මතුපිට, ජලය යට සහ වෙරළ තීරයේ ඇත. ලොව පුරා සිටින කැස්බෑවන්ගෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විවිධ ආකාරවලින් ප්ලාස්ටික් ආහාරයට ගෙන ඇතැයි පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.


මුහුදු කැස්බෑවන් සහ ප්ලාස්ටික් දූෂණය ගැන මිනිසුන් වන අපි සැලකිලිමත් විය යුත්තේ ඇයි කියා ඔබ සිතනවා විය හැකියි. මුහුදු කැස්බෑවන් සාගරයෙන් අතුරුදහන් වුවහොත් එය අනාගත මානව පරම්පරාවට විශාල පාඩුවක් පමණක් නොව සෙසු සාගර ජීවීන්ටද තර්ජනයක් වනු ඇත. දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති hawksbill කැස්බෑවා මුහුදු ස්පොන්ජ් ආහාරයට ගැනීම මගින් කොරල් පර ආරක්ෂා කිරීමට වැදගත්වේ. මුහුදු ස්පොන්ජ් පාලනයකින් තොරව වැඩුනහොත්, ඔවුන් කොරල්පර ආවරණය කර විනාශ කර දමති. කැස්බෑවන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන්නේ ජෙලිෆිෂ් ය. ජෙලිෆිෂ් මාළු කීටයන් ආහාරයට ගන්නා අතර ඒවා පාලනය නොකළහොත් ජෙලිෆිෂ් සාගරයේ මත්ස්‍ය ගහනය අඩු කරයි. එනිසා සාගර පද්ධතිය බිඳ නොවැටී පවත්වා ගැනීමට හා මානව වර්ගයාගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමටත් කැස්බෑවන් විසින් සිදුකරන මෙහෙය අතිමහත්ය.


කවුරුන් හෝ මෙම අහිංසක සත්ව විශේෂය මිහිතලයෙන් වඳ වී යාමට පෙර සුරක්ෂිත කරගත යුතු යැයි අපි සෑම විටම සිතන්නෙමු. නමුත් එම කවුරුන් නම් කාණ්ඩය තුළ ඔබත් මාත් සිටිනු ඇත. එනිසා අප සැමගේ වගකීම වන්නේ තම නිවස තුළදීම ප්ලාස්ටික් භාවිතය අවම කර ඒ සඳහා විකල්ප ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කිරීමටත්, ප්‍රතිචක්‍රීකරණය කිරීමටත් වගබලා ගැනීමයි. එමෙන්ම කැස්බෑ සංරක්ෂණ, සාගර හා වෙරළ සංරක්ෂණ ව්‍යාපෘති පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කර ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමද මෙහිදී ඉතාම වැදගත්වේ.


අපි භාවිතා කරන සෑම ප්ලාස්ටික් කැබැල්ලක්ම නුදුරු අනාගතය තුළදීම අහිංසක සත්ව විශේෂයක නිමාව ඔබේත් මගෙත් අනාගත පරම්පරාවට උරුම කිරීමට නියමිතයි. ඉතින් සෝචනීය ඉරණමකින් මෙම කැස්බෑ සම්පත ආරක්ෂා කරගැනීම ඔබෙත් මගෙත් වගකීමක් නොවන්නේද?


- Rtr. Samodi Randika Perera -

Comments


bottom of page