සොබාදහම වනාහි අප ගත සිත මනස යන සියල්ලනට සුව ගෙන දෙන්නා වූ අපගේ ජීවන ආධාරක පද්ධතියයි. අප හුස්ම ගන්නා නැවුම් වාතයෙහි සිට අප පානය කරන පිරිසිදු ජලය දක්වා සොබාදහම විසින් අපේ පැවැත්ම සහ යහපැවැත්ම සදහා අත්‍යවශ්‍ය සියලු දේ සපයයි. අප පැරැන්නන් සොබාදහම හා සහජීවනයෙන් ජීවත් වූවෝය. නමුත් වර්තමාන මිනිසා එසේ සොබාදහම සහ සහජීවනයෙන් ජීවත් වන්නෝ නොවෙති. කෙමෙන් කෙමෙන් සොබාදහම හා ඒ මත රැදී ජීවය විනාශය කරා ලං වෙමින් පවතී. මීට බොහෝ හේතු සාධක පවතින අතර පරිසර දූෂණය මීට මූලික හේතුව වේ. දේශගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම පරිසර දූෂණයේ ප්‍රතිවිපාකයන්ය. මෙම තත්වය සමස්ත පොලෝ තලයෙහි ජීවය තර්ජනයට ලක් කර ඇත.
මිලියන ගණනකගේ ජීවනෝපායන් සහ අපගේ බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් ස්වභාවික ලෝකය මත රැදී පවතින්නන් වන හේතුවෙන් එය රටක ආර්ථික සමෘද්ධියේ යතුර ද වේ. එවන් අති විශාල සමෘද්ධියක් අත්පත් කරගැනීමෙහිලා රටක වන ජීවය රැකගැනීම අත්‍යවශ්‍ය වන අතර එය එම රටෙහි සංචාරක කර්මාන්තයේ දියුණුවට ඉමහත් පිටුවහලක් වනු ඇත. එනමුත් පරිසර දූෂණය හේතුවෙන් තර්ජනයකට ලක්ව සිටින ජීවින් කොට්ටාශ ලැයිස්තුවෙහි වනජීවීන්ද මූලික තැනක් ගනී.
පරිසර දූෂණය ස්වරූපයන් ගන්නා අතර එය ලෝකයේ රටවල් සියලන්නටම පාහේ විවිධාකාරයෙන් බලපෑම් ඇති කොට ඇත. නොනැසී පවතින කාබනික දූෂක සුළඟින් හා ජලයෙන් පහසුවෙන් ගෙන යන අතර ඒවා වැඩි කාලයක් පැවතිය හැක. එලෙස ඒවා ශාක, සතුන්ගේ හා මිනිසුන්ගේ පටකවලට එකතු වී ආහාර හරහා එක් විශේෂයකින් තවත් විශේෂයකට සම්ප්‍රේෂණය වීමෙන් බොහෝ අහිතකර ප්‍රතිවිපාක ලබාදිය හැක. වසර 1950-1960 කාලයෙහි එක්සත් ජනපදයේ මෙවන් සාන්ද්‍රණය වීමක් හේතුවෙන් එක්තරා රාජාලීන් විශේෂයකට පැටවුන් බිහි කිරීමට නොහැකි විය. මෙවන් තත්වයන් එම සත්ත්ව විශේෂයන් මිහි තලයෙන් වද වී යාමට හේතු වී ඇත.
ගෝලීය උණුසුම ඉහල යාමට හේතුවන විශාලතම දූෂකවලින් එකක් වන කාබන්ඩයොක්සයිඩ් වායු ගෝලයට මුසු වීම, වාහන තාපය හා බලශක්ති උත්පාදනය සඳහා පොසිල ඉන්ධන දහනය කිරීම (මූලික වශයෙන් තෙල්, ස්වභාවික වායුව සහ ගල් අගුරු) වැනි මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිපලයකි. අපි මේ වන විට සියලු පොසිල ඉන්ධන දහනය කිරීම නැවැත්වුව ද, වායුගෝලයේ දැනටමත් ඇති කාබන්ඩයොක්සයිඩ් අදින් වසර සිය ගණනකට පසුව ද දේශගුණික විපර්යාස සදහා දායක වනු ඇත.
රසදිය, මත්සයින් හා වනජීවින්ට අහිතකර ලෙස බලපාන්නා වූ අධික විෂ සහිත දූෂකවලින් එකකි. ගල් අඟුරු බලාගාර මඟින් ගල් අඟුරු දහනය කිරීමේ අතුරු ඵලයක් ලෙස රසදිය වායුගෝලයට මුදා හරියි. රසදිය අඩංගු නිෂ්පාදන දහනය කිරීමේ අතුරු ඵලයක් ලෙස රසදිය වායුගෝලය මුදා හරී. රසදිය අඩංගු නිෂ්පාදන දහනය, අපද්‍රව්‍ය දහනය කරන යන්ත්‍ර සහ ක්ලෝරීන් නිෂ්පාදන වෙනත් ප්‍රභවයන් අතරට ඇතුලත් ය. මෙසේ පසුගිය සියවස් ගණනාව තුල මානව ක්‍රියාකාරකම් මඟින් රසදිය මට්ටම පරිසරයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. වාතයට විමෝචනය වූ පසු රසදිය පෘථිවියට පතිත වී ජලය සහ පසට එකතු වන අතර පසුව වනජීවීන්ගේ හා මිනිසුන්ගේ පටකවලට එකතු වී ඉතා විෂ සහිත ස්වරූපයක් ගනී. එය මිනිසුන් හා වනජීවීන් යන දෙකෙහි මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට වර්ධනයට බලපානු ඇත. ආහාර දාමය ඉහල යන සෑම පියවරකදීම රසදිය සාන්ද්‍රණය වැඩි වේ. අනෙක් අතට, රසදිය මට්ටම ඉහල මට්ටමක පවතින මාළු හෝ වෙනත් විශේෂ පරිභෝජනය කරන මිනිසුන් සහ වන සතුන් දැඩි සෞඛ්‍ය ගැටළු ඇති වීමේ
අවදානමට ලක්ව ඇත.
බැලූ බැල්මට ශ්‍රී ලංකාව ඒදන් උයනක් සේ දිස් වේ. ජෛව විවිධත්වයෙන් අනූන අප සරුසාර නිජබිම ඉන්දියන් සාගරයේ මුතු ඇටය සේ හැදින්වෙන්නේ ද ඒ නිසාවෙනි. නමුදු, "IQAir" හි ඇති දත්තවලට අනුව, 2019 දී වාත දූෂණය සම්බන්ධව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි "මධ්‍යස්ථ" ස්ථානයක සිටී. ඉන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ද අනෙකුත් රටවල් මෙන් මෙම සෝචනීය තත්වයට මුහුණ පා ඇති බවයි. අප රට විචිත්‍රවත් ජෛව විවිධත්වයකින් යුත් රටක් සේ කීර්තියට පත්ව ඇති බව කවුරුත් දන්නා කරුණකි. මේ හේතු කොටගෙන අප රටේ සංචාරක කර්මාන්තය කොවිඩ් වසංගතයට පෙර බොහෝ සශ්‍රීකව පැවතුනි. නමුත්, පරිසර දූෂණය, වන විනාසය වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් වර්ෂ ගණනාවක් රමණීය ජෛව විවිධත්වයෙන් සැරසී සිටි ශ්‍රී ලංකා මෑණියන්ට මතු පැමිණෙන අනාගතයේදී සිය සුන්දරත්වය අහිමි වී යන ලකුණු පෙන්නුම් කෙරේ. මෙතෙක් සිදුව ඇති විනාශයට කල හැක්කක් නැත. නමුදු, ඉදිරි අනාගතය වෙනස් කිරීමේ හැකියාව අප සතුය. මහා පරිමාණ කර්මාන්තයක් විසින් පරිසරයට කරන්නා වූ විනාසය අපි වැනි සාමාන්‍ය පුරවැසියන්ට නැවැත්විය හැකිද යන ප්‍රශ්නය පැන නැගිය හැක්කක්ය.
නමුදු, සොබාදහම හා එහි ජීවය රැක ගනු වස් සුළුවෙන් හෝ දායක වීමට අප සියල්ලන්ටම හැකිය. පොලිතීන්, ප්ලස්ටික් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමට පෙර අප දෙවරක් සිතිය යුතු නොවේද?
- Rtr. Hiruni Fernando -
Comments