මනුෂ්‍ය වර්ගයා සියවස් ගණනාවක් තිස්සේ පෘථිවිය මත විවිධාකාර සත්ත්වයන් සමඟ ජීවත් ව ඇති නමුත් සත්ත්ව හිංසනය තවමත් අපට නිතර අසන්නට දකින්නට ලැබෙන කටුක යථාර්ථයකි. අප රට තුළ පමණක් නොව මුළු මහත් ලෝකයේම කලින් කලට අඩු වැඩි වශයෙන් සත්ත්ව හිංසනය දක්නට ලැබේ. මෙය එක් සත්ත්වයෙකුගේ හෝ සමූහයකගේ ජීවිතවලට තර්ජනයක් ඇති වන ආකාරයේ සැලකීමක්, හිතාමතා හෝ රැකබලා ගැනීම නොසලකා හැරීම තුළින් හෝ විය හැක.
සතුන් නියමාකාරයෙන් රැකබලා ගැනීම පැහැර හැරීම වර්තමානයේ බහුලවම දක්නට ලැබෙන අතර හිමිකරු සතුව සුරතල් සතුන් විශාල ප්‍රමාණයක් සිටීමත් සතුන්ට ප්‍රමාණවත් පෝෂණයක් ලබාදීමට ඔහු හෝ ඇය අපොහොසත් වීම මඟින් ද මෙය සිදුවේ යැයි උපකල්පනය කළ හැකි වුවද තවත් හේතු රාශියක් තිබිය හැකි ය.
ඊට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල පවතින විවිධ කර්මාන්ත සඳහා සතුන් යොදා ගැනීමේදී, ආගමික හා සංස්කෘතික විශ්වාසයන් අනුව ක්‍රියාකිරීමේදී මෙන්ම පවතින නීති රීතිවල ස්ථාවරභාවයක් නොමැති වීම ආදී හේතූන් නිසා ද සතුන් ශාරීරික පීඩාවන්ට ලක්වීමත් මරණයට පත් වීමත් විශාල වශයෙන් දැකගත හැක.
සත්ත්ව හිංසනය කියූ පමණින් බොහෝ දෙනාගේ සිහියට නැගෙන්නේ ගෘහස්ථ සුරතල් සතුන් පමණක් වුවද ගෘහස්ථ හිංසනයට එහා ගිය සත්ත්ව හිංසනයක් කර්මාන්ත ලෙස පවත්වාගෙන යන සත්ත්ව ගොවිපල වල, අප අවට නිදැල්ලේ හැසිරෙන සතුන් අතර පමණක් නොව රක්ෂිත යැයි පැවසෙන වනාන්තර වැනි පරිසර පද්ධතීන් තුළ පවා සිදුවන බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වන වැස්ම තුළ විවිධ හේතූන් මත දිනෙන් දින ඝාතනයට ලක් වන අලි ඇතුන් සංඛ්‍යාව ඉහළ යාම මේ සඳහා හොඳම නිදසුනකි. ආසියාතික අලියා; Elephas maximus යනු වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂයකි. ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පමණක් පසුගිය මාස 7 තුළ අලි මරණ 40 ක් වාර්තා වී ඇති අතර 2020 වර්ෂයේ මියගොස් ඇති මුළු අලි ඇතුන් ගණන 318 ක් ලෙස වාර්තා වේ. මෑතකදී (2021) වාර්තා වූ ඛේදනීය සිදුවීම වන්නේ පසුගිය අගෝස්තු 15 වන දා යාල ජාතික වනෝද්‍යානය තුළ ඇතෙකු කුරිරු ලෙස මරාදැමීම ය. තවද ඒ ඇත්දළ හෝ කැකුළු දත් ලබා ගැනීමේ අරමුණින් බවද සඳහන් වේ. මෙවැනි ආරක්ෂිත කලාපවල පවා අලිඇතුන් පමණක් නොව තවත් කෙතරම් සත්ත්වයින් හිංසාවට පත්වන්නේ දැයි සිතා බැලීමට මෙම සාක්ෂි ප්‍රමාණවත් ය.
තවත් බොහෝ දෙනා සිතා සිටින්නේ සත්ත්ව හිංසනය සිදුවන්නේ භෞමික සතුන් මුල් කරගෙන පමණක් බව ය. නමුත් එසේ නොවන බව පසක් වන්නේ ඩොල්ෆින් මසුන් ඇතුළු සාගර ජීවීන්ගේ සිට ජලජ පරිසර පද්ධතිවල වෙසෙන බොහොමයක් ජීවීන්ට ද මිනිසාගෙන් විවිධ තර්ජන එල්ල වෙමින් පවතින බැවිනි. ක්‍රීඩා සඳහා පීඩාකාරී ලෙස සතුන් යොදා ගැනීම, ලොම් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර නිෂ්පාදන ආදී ක්‍රියාවලි නිදසුන් ලෙස දැක්විය හැකි ය. මෙයට එක් කළ යුතු තවත් කරුණක් වන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා සමාජය තුළ පවතින මිත්‍යා විශ්වාස හා මතවාදයන් ය. එනම් ශරීර වර්ණය මත සතුන් වර්ග කිරීමට පෙළඹීමයි. මේ නිසා ගෘහස්ථ මට්ටමින් බොහෝ සතුන් පීඩාවට පත් වීම දක්නට ලැබේ. තවද බහුලව ම ස්ත්‍රී සතුන් අප රට තුළ මහා මාර්ගවල පවා හිංසනයට ලක්වීම කනගාටුවට කරුණකි.
වසර ගණනාවක සිට සත්ත්ව හිංසනය පිටු දැකීම වෙනුවෙන් ලොව පුරා පිහිටුවා ඇති සංවිධාන, ආයතන බොහෝ වේ. තවද ලෝකයේ සත්ත්ව හිංසනය අවම කිරීමට පනවා ඇති නීති, අණපනත් මෙන්ම එක් එක් රටවලට ආවේණික විශේෂිත වූ නීති පවා හඳුන්වා දී ඇති නමුදු ලොව පුරා වෙසෙන සත්ත්ව සමුදාය පීඩාවන්ට ලක්වීමේ අඩුවක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. වර්ෂ 1958 අංක 29 දරණ සත්ත්ව පනත මඟින් සත්ත්ව හිංසනයට අදාළ නීති රීති දක්වා ඇති අතර ඒ සඳහා වන නීතිමය පසුබිම පැහැදිලි කර ඇත. ඉන් පසුව ද විවිධ අවස්ථාවන් හි දී මෙම නීති ප්‍රතිසංස්කරණය කර තිබුණද මේ හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් වී නැති බව නම් කිව යුතුම ය. මන්ද අද වන විටත් කිසිදු බාධාවකින් තොරව සමාජය තුළ මහා පරිමාණයෙන් සත්ත්ව හිංසන ක්‍රියා සිදුවන බැවිනි. පවතින නීති රීතිවල පවා ඇති ලිහිල් ස්වභාවය බොහෝ විට මෙයට හේතුවක් විය හැකිය.
කෙසේ වුවද බොහෝ දෙනෙකුට නොවැටහෙන නමුත් අප සමාජගත කළ යුතු කරුණ වන්නේ සමහර අවස්ථාවන්වල දී අප සිදුකරන නොගැළපෙන ක්‍රියාකාරකම් හේතුවෙන් මිනිසුන් හා සමානවම වේදනාවක් විඳීමට සතුන්ටත් සිදුවන බව ය. නිවැරැදිව සතුන් රැකබලා ගැනීම හා ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය වේ. තවද අපගේ කෝපය වැනි පීඩාකාරී හැඟීම් නිදහස් කිරීමට හෝ විනෝදාස්වාදය උදෙසා සතුන් අපයෝජනයට ලක් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. ලොව ඕනෑම ස්ථානයක අඩු වැඩි වශයෙන් සිදුවන සත්ත්ව හිංසනයන්, අපයෝජනයන් හමුවේ ඒවාට එරෙහිව නැඟී සිටිමින් හඬ නැඟීමට සමාජය පෙළඹවීම අප සතු කාර්යභාරයක් බව මාගේ විශ්වාසයයි.
- Rtr. Saumya Thathsarani -
Comments