top of page
LOGO 4 - Copy (2).png

ලෝක වනජීවී සංරක්ෂණ දිනය


ඔබ සිතන අයුරින් මේ මිහිපිට වඩාත්ම ආක්‍රමණශීලී ජීවී විශේෂය කවුරුන්ද? ව්‍යාඝ්‍රයින්? වලසුන්? මෝරුන්? නැහැ ඒ කිසිවෙකුත් නොවෙයි... ඒ අපි. මිනිසුන්. කණගාටුදායකම සත්‍ය නම් අද වන විට අප ජීවත් වන්නේ ස්වභාධර්මයේ විශිෂ්ටතම හා වඩාත්ම සිත් ඇදගන්නාසුළු ජීවී විශේෂ ගණනාවකගේ අනාගත පැවැත්මේ අවසන් ඉරණම ලොව පුරා සිටින නීතිවිරෝධි අපරාධ ජාලයක කෑදර මිනිසුන්ගේ දෑත්වලින් ලියැවෙමින් යන යුගයක වීමයි. මෙම නීති විරෝධී ජාවාරම් වලට එරෙහිව නැගී සිටීමටත් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සියලුම ජීවී විශේෂවල සංරක්ෂණය තහවුරු කිරීම උදෙසා පියවර ගැනීමත් මුල්කරගෙන ලෝක වනජීවී සංරක්ෂණ දිනය ලෙස දෙසැම්බර් මස 4 වන දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කර ඇත.


2012 වර්ෂයේදී එක්සත් ජනපද රාජ්‍යය විසින් දෙසැම්බර් 4 වන දිනය ප්‍රථම වරට ලෝක වනජීවී සංරක්ෂණ දිනය ලෙසට ප්‍රකාශයට පත් කරන ලද අතර මෙම දිනය ලෝක දිනදර්ශනයේ තවත් එක් දිනයක් පමණක් නොවන්නට එය හේතුවක් විය. එහිදී වන සතුන්ට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වනජීවී ප්‍රතිඥාවට අත්සන් කරන ලෙස ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටින ලදී. මෙම ලෝක වනජීවී සංරක්‍ෂණ දිනය පිහිටුවීම තුළින් බලාපොරොත්තු වන්නේ වනජීවීන් දඩයම් කිරීමේ සහ නීති විරෝධී ජාවාරම් කිරීමේහි හානිකර ආර්ථික සහ පාරිසරික බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ වලින් සාදන ලද නිෂ්පාදන සඳහා ඇති පාරිභෝගික ඉල්ලුම අධෛර්යමත් කිරීම හා නීතිවිරෝධී වනජීවී වෙළඳාම නතර කිරීම සඳහා පුරවැසියන්, ක්‍රියාකාරීන්, පෞද්ගලික සංස්ථා සහ විවිධ රටවල රජයන් විසින් දරන උත්සාහයන් විදහා දැක්වීමයි. 2012 නොවැම්බර් මස 8 වන දින එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් ලෝක වනජීවී සංරක්ෂණ දිනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංරක්ෂකයින් සහ වනජීවී ලෝලීන් සම්බන්ධ කරගනිමින් 'A call to action' නමින් වැඩසටහනක් පවත්වන ලදී. එහිදී ඇය වනජිවී ජාවාරමේ ගෝලීය ගැටලු විසඳීම සඳහා විවිධ උපාය මාර්ග ද ගෙනහැර දක්වමින් මෙසේ ප්‍රකාශ කළාය.

“වන ජීවීන් නිෂ්පාදනය කරන්න බැහැ. එය නැති වූ පසු, එය නැවත නිර්මාණය කළ නොහැක. එයින් නීතිවිරෝධී ලෙස ලාභ ලබන අය අපේ දේශසීමා සහ අපේ ආර්ථිකය හෑල්ලූවට ලක් කරනවා පමණක් නොව, ඔවුන් සැබෑ ලෙසම එම සම්පත ඊළඟ පරම්පරාවෙන් සොරකම් කරනවා” අවාසනාවකට මෙන් අද වන විට ලොව පුරා කළු වෙළඳපොල තුළ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ ගණනාවකගේම නීති විරෝධී වෙළඳාම ඉහළ යමින් පවතී. ලෝකයේ විවිධ රජයන් සමහර අවස්ථාවලදී මෙම ක්‍රියාවන් නැවැත්වීමට සාර්ථක වුවද, සියලුම විශේෂයන් දඩයම්කරුවන්ගෙන් සහ ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂිත නොවේ.


2011 වසරේ දී ලොව පුරා බලධාරීන් විසින් ඇත්දළ මෙට්‍රික් ටොන් 23 ක් පමණ අත්අඩංගුවට ගන්නා ලදී. එම ඇත්දළ සංඛ්‍යාව වධහිංසාවලට සහ ම්ලේච්ඡත්වයට ගොදුරු වූ අලි ඇතුන් 2500 කට පමණ සමාන වේ. 1990 වසරේ සිට ජාත්‍යන්තරව ඇත් දළ වෙළඳාම් කිරීම තහනම් කර ඇතත්, චීනය වැනි රටවල ඇත් දළ සඳහා ඇති ඉහළ ඉල්ලුම සහ ජාවාරම් ඉහළ යාම හේතුවෙන් අලි සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. ලොවපුරා මෙවැනි ඛේදනීය ඉරණම් හිමිව ඇත්තේ අලි ඇතුන්ට පමණක් නම් නොවේ. ‘මෝර වරල් සුප්’නම් ආහාරය සඳහා චීනය වැනි රටවලට මෝරුන්ගේ වරල් කපා අලෙවි කිරීමේ පුරුද්ද නිසා ඔවුන්ගේ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. මෙවැනි මිලේච්ඡ ක්‍රියාවන් අවසන් වන්නේ කවදාද ?


රත්‍රන් සහ කොකේන් යන දෙකටම වඩා වටිනා රයිනෝ අං වැනි ද්‍රව්‍ය සමඟද ඉහළ ලාභ ලැබීමේ අරමුණින් නීති විරෝධී ජාවාරම් සහ දඩයම් කිරීම් මෙහෙයවති. පිළිකා සුව කළ හැකි බවට වියට්නාමය තුළ ඇති දේශීය මිත්‍යා විශ්වාසය හේතුවෙන්, රයිනෝ අං සඳහා වියට්නාමයේ ඉහළ ඉල්ලුමක් පවතී. අද වන විට ලෝකයේ රයිනෝසරයන්ගේ ගහනය 27000 පමණ සීමිත අගයක් දක්වා අඩුවී ඇත්තේ මෙම නීති විරෝධී ජාවාරම් හේතුවෙනි. ඇත්දළ සහ ලොම් වැනි දේ සඳහා කෘතිම ආදේශක ඕනෑ තරම් තිබෙන අතර ඒවා ලබා ගැනීමට සතෙකුගේ ම්ලේච්ඡ ඝාතනයක්ම අවශ්‍ය නොවේ. එවිට උසස් තත්ත්වයේ කෘතිම ආදේශක සහ සැබෑ දේ අතර වෙනස කෙතරම්දැයි මිනිසුන්ට ප්‍රශ්න කළ හැකියි. නමුත් හුදෙක් මිනිස් ආස්වාදයන් උදෙසා වටිනා ජීවී විශේෂ විනාශ කිරීමට වඩා එය සැබැවින්ම හොඳ විකල්පයක් වේ. කෙටියෙන්ම කිවහොත්, සෑම වසරකම මිනිසා නිසා මිහිතලයට අහිමි වන ජීවී විශේෂ ගැන කිසිදු නිදහසට කරුණක් නොමැත.


ඔබ මැමත්වරයෙකුගේ ඡායාරූපයක් හෝ ත්‍රිමාන වීඩියෝවක් දැක තිබෙනවාද? නමුත් එයින් ලබන අත්දැකීම අලියෙක් හෝ රයිනෝසරයෙක් සියසින් දැක ඔවුන්ගේ චර්යාවන් අධ්‍යනය කිරීමෙන් අපිට විඳ ගැනීමට හැකි සොබාදහමේ ඒ සොඳුරු අත්දැකීම හා ඔබට සැසඳිය හැකි ද? අද වන විට වනජීවීන්ට අත්වී ඇති අවාසනාවන්ත ඉරණම මෙලෙස දිගින් දිගටම පැවතිය හොත් අපේ අනාගත පරම්පරාවට රයිනෝසරයෙකු හෝ අලියෙකු පමණක් නොව බොහෝ ජීවී විශේෂ ගණනාවක් සියසින් දැක ගැනීමේ භාග්‍යය කිසිවිටෙකත් හිමි නොවුනු ඇත. තාක්ෂණික ලොවක් තුළ විවේකය ද අහිමි වූ අතිශය කාර්යබහුල වර්තමාන මිනිසුන්ට නිවාඩුවක් ලැබුණු වහාම සෆාරි චාරිකාවකට හෝ සහභාගි වීමෙන් තම මනස නිදහස් කර ගනිමින් නැවුම් අත්දැකීමක් ලබා ගැනීමට තවමත් වාසනාව තිබේ. නමුත් ඒ වාසනාව අපේ අනාගත පරම්පරාවට හිමි වේවිද?


එබැවින් මෙවන් යුගයක ලොව පුරා වෙසෙන සියලු මිනිසුන්ට වනජීවී සංරක්ෂණය සහ එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට හා ලොව පුරා බලධාරීන්ට නීති විරෝධී ජාවාරම් වලට එරෙහිව නිසි නීතිරීති බලාත්මක කිරීමට මඟ පෙන්වන සුවිශේෂී දිනයක් ලෙස ලෝක වනජීවී සංරක්ෂණ දිනය හැඳින්විය හැකියි. වනජීවී සංරක්ෂණය උදෙසා මිනිසුන් ලෙස අපි තම තමන්ගේ වගකීම හඳුනාගැනීම හා ඒ සඳහා එක්ව අපගේ හඬ අවදි කරමින් හැකි උපරිම අයුරින් දායකත්වය ලබාදීම අපේම දරු පරපුරේ අනාගතය සඳහා වැදගත් වේ.


Rtr. Samodi Randika





Comments


bottom of page