top of page
LOGO 4 - Copy (2).png

විස්මිත මුහුදු කැස්බෑවන් මිහිතලයෙන් තුරන්ව යා නොදෙමු...


සාගරයේ වෙසෙන ජීවීන් අතරින් උරගයකු වන කැස්බෑවා සුවිශේෂී සත්ත්වයෙකි. වායුගෝලයේ ඔක්සිජන් ශ්වසනය කරන සාගරයේ ජීවත්වන මොවුන් වසර දස ලක්ෂ ගණනාවක ඈත අතීතයේ සිට පරිණාමය වෙමින් වර්තමානය දක්වා පැමිණ ඇත. මොවුන්ගේ ශරීර උෂ්ණත්වය, පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වන බැවින් උදය කාලයේදි සාගරය මතුපිටට පැමිණ සූර්ය කිරණ මඟින් උෂ්ණත්වය වැඩි කරගනී. මොවුන් පෙනහලු මඟින් වාතය ආශ්වාස ප්‍රශ්වාස කරන අතර රාත්‍රිය ගෙවා දමන්නේ සාගර පත්ලේ ඇති ගුහා හෝ පැලුම් තුළට වී අක්‍රීයවය.



බොහෝවිට කැස්බෑවන් ජීවත් වන්නේ නිවර්තන හා උපනිවර්තන මුහුදු ප්‍රදේශවලය. එනමුත් ඔවුන් සෑමවිටම සමස්ත සාගරය හරහා සංක්‍රමණය වේ. කැස්බෑවන් අතරින් ගැබ්ගත් කැස්බෑ මවක් බිත්තර දැමීම සඳහා වෙරළට ගොඩවීම හැර ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ මුහුදු ජලයේය. මොවුන් මිරිදිය ඉබ්බන්ට වඩා විශාල යැයි සැළකේ. මොවුන් බොහෝවිට සංසර්ගයේ යෙදෙන්නේ මාර්තු-ඔක්තෝම්බර් මාසවලදීය. ප්‍රධාන වශයෙන් මුහුදු පැළෑටි,ඉස්සන්,ගොළුබෙල්ලන්,ඇල්ගී,මොලුස්කාවන්‍ කැස්බෑවන්ගේ ආහාර වේ. එක් මවක් බිත්තර 50 සිට 350 අතර ප්‍රමාණයක් ප්‍රසූත කරන අතර අනතුරුව ඒවා වැලිවලින් වැසීම සිදුකරයි.

බිත්තරවලින් බිහිවන පැටවුන්ගේ ලිංගය තීරණය වන්නේ බිත්තර දැමූ වැල්ලේ උෂ්ණත්වය අනුවය. කැස්බෑ බිත්තරයකින් පිරිමි පැටවකු බිහිවීමට උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 කට වඩා අඩුවිය යුතුය. උෂ්ණත්වය ඊට වැඩිවන සෑම අවස්ථාවකම ගැහැනු සතුන් බිහිවේ.

මෙලෙස දමනු ලබන බිත්තරවලින් වෙරළින් මුහුදට යන පැටවුන්ගෙන් ලිංගික පරිණතභාවයට පත්වන්නේ 1000කින් එක් පැටවකු පමණි. ඉතිරි සියල්ලම ස්වභාවික හේතු හෝ ඇතැම් අවස්ථාවන්හිදී බාහිර බලපෑම් හේතුවෙන් මිය යාම සිදු වේ. දාර කැස්බෑවා, ගල්කැස්බෑවා ,පොතුකැස්බෑවා, ඔලුගෙඩි කැස්බෑවා ,බටු කැස්බෑවා, කෙම්ප් රිඩ්ලි කැස්බෑවා, කොළ කැස්බෑවා ලෙස මුහුදු කැස්බෑ වර්ග හතකි.


මොවුන් "Keystone species" ලෙස ද හඳුන්වයි. මන්ද ඔවුන් ජීවත්වන පරිසර පද්ධතියේ පැවැත්මට සහ නිරෝගී බව පවත්වා ගැනීමට සහය වීමයි. උදාහරණයක් ලෙස ජෙලිෆිශ් වැනි ජීවීන් ආහාරයට ගැනීමෙන් උන්ගේ ව්‍යාප්තිය පාලනය කරමින් අනෙක් ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන අතරම කරදිය පරිසර පද්ධතිය තුළ ආහාර දාම, ආහාර ජාල සමතුලනයට ද කැස්බෑ බිත්තර කෝෂ සහ නරක් වූ බිත්තර වෙරළබඩ ශාක වර්ධනයට දායක වෙයි. කැස්බෑවන් මැරීම, බිත්තර එකතු කිරීම, කටු ළඟ තබාගැනීම හෝ ප්‍රවාහනය කිරීම වැනි ක්‍රියා සඳහා දැඩිව නීති ක්‍රියාත්මක වුවද වෙරළ දූෂණය, වෙරළබඩ ප්‍රදේශ විවිධ කාර්යයන් සඳහා අනවශ්‍ය ලෙස ආලෝකකරණය කර තිබීම, සාගර දූෂණය විශේෂයෙන් ප්ලාස්ටික්, පොලිතීන් වැනි ද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීමත් අවසානයේ ඒවා සාගරයට එකතු වීම,සාගරික ප්‍රදේශවල සිදුවන කැණීම් කටයුතු, තෙල් විසිරීම්, ධීවරයන්ගේ දැල්වලට හසුවීම නිසා කැස්බෑවන් විශාල සංඛ්‍යාවක් මියයයි.


එබැවින් වෙරළේ දී බිහිවන පැටවුන් ආරක්ෂිතව සමුදුරට මුදාහැරීම, බිත්තර දැමීමට පැමිණෙන මව් සතුන් ආරක්ෂා කරගැනීම, සාගර කැස්බෑවුන් සංරක්ෂණය කිරීම සඳහා විවිධ පර්යේෂණ, අධ්‍යාපනික, ප්‍රජා මූලික සංරක්ෂණ කටයුතුවල නිරතවීම සහ වෙරළබඩ ජනයා දැනුවත් කිරීම මඟින් මුහුදු කැස්බෑවුන් සංරක්ෂණය කිරීම කාලීන අවශ්‍යතාවයකි.



- Rtr. Sandunika Samandini Jayasinghe -

Comments


bottom of page