පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීම සඳහා සොබාදම් මෑණිය විසින් පිරිනැමූ තිළිණයක් ලෙස පක්ෂීන් හැඳින්වීමට හැකි ය. ස්වභාව සුන්දරත්වය අතින් ඉහළ රටක් වන ශ්‍රී ලංකාව තුළ ද ඉතාමත් දුර්ලභ ගණයේ, එමෙන්ම සුන්දරත්වයෙන් මුල්තැන සිටින පක්ෂීන් රැසක් දැකගැනීමට හැකි වේ. නමුත් වර්තමානය වන විට මෙම පක්ෂීන් අතරින් බොහෝ දෙනෙකු වඳවීමේ තර්ජනයට මුහුණ පාමින් සිටි.
ඒ අතරින් ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර වල වාසය කරන අතිශයින්ම රුක්වාසී පක්‍ෂියෙක් ලෙස මයිල ගොයා පක්‍ෂියා (Sri Lanka wood pigeon) හැඳින්විය හැකිය. Columba torringtoni යන ද්විපද නාමය දරණ අතර 'Columbiformes' යන ගෝත්‍රයට අයත් වේ. පරෙවි ගෝත්‍රයේ පරෙවි කුලයට අයත්වන අළු කොබෙයියාට වඩා මයිල ගොයා පක්ෂියා තරමක් විශාල පක්‍ෂියෙකි. ඉතා පරීක්‍ෂාකාරී කුරුල්ලෙක් වන අතර බොහෝ විට තුරු වියනෙහි සැඟවී වාසය කරයි. එසේම මොවුන් ශක්තිමත් පියාසරකරුවන් වන අතර ලිංගික ද්විරූපතාවයක් නොපෙන්වයි. මොවුන්ගේ පිටිකර ප්‍රදේශයේ කැපී පෙනෙන කළු සහ සුදූ පැහැති Chess board පැල්ලමක් දක්නට ලැබේ. එය පහළින් හා දෙපසින් රෝස පැහැති ප්‍රදේශයකින් වට වී තිබෙනු දක්නට ඇත. බොටුව සුදු පැහැවන අතර පිට,පියාපත් සහ පෙඳය අඳුරැ අළු පැහැතිය. කුරුඳු ශාකයේ ඵල වර්ගවලට බෙහෙවින් ප්‍රියකරන මයිල ගොයා පක්ෂියා විවිධ වර්ගයේ කුඩා ඵල වර්ග ආහාරයට ගනී. සාමාන්‍යයෙන් යුගල් වශයෙන් වාසය කරන නමුත් ආහාර බහුලව ඇති තැන්වලදී කුඩා රංචු ලෙස එක් වේ. සාමාන්‍යයෙන් මයිල ගොයා පක්ෂියා නිහඬ කුරුල්ලෙක් වන අතර පෙබරවාරි - මැයි සහ අගෝස්තු-ඔක්තෝම්බර් යන කාලවලදී අභිජනනය සිදුකරයි. මොවුන්ගේ කැදැල්ල වනාන්තරයේ ගසක වියනෙහි කුඩා අතු කැබලි වලින් තනනු ලබන තරමක් පැතලි ස්වරුපයක් ගනී. මයිල ගොයා පක්ෂියා එක් සුදු පැහැති බිත්තරයක් දමනු ලබයි. යම් යම් කාලවලදී වඩා පහත් ප්‍රදේශවලට සංක්‍රමණය වන බැවින් සිංහරාජයේ සහ මහනුවර ප්‍රදේශයේ කැලෑ වලද මෙම පක්‍ෂියා දැකිය හැකිය.
එලෙසම වඳ වීමේ තර්ජනයට ලක් වී සිටින තවත් පක්ෂි විශේෂයක් ලෙස වත රතු මල් කොහා (Red-Faced Malkoha) පෙන්වා දිය හැකිය. වත රතු මල් කොහා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික පක්‍ෂියෙක් ලෙස සැලකේ. Phaenicophaeus pyrrhocephalus යන ද්විපද නාමය දරණ අතර 'Cuculiformes' යන ගෝත්‍රයට අයත් වේ. මොවුන් පහතරට කඳුකරයේ සහ වනාන්තරවල වාසය කරන දුලභ පක්‍ෂියෙකු ලෙස හැඳින්විය හැකිය. මෙම පක්‍ෂියා දකුණු ඉන්දියාවේ වාසය කර ඇති බවට වාර්තා තිබුණු නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. වත රතු මල් කොහා දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින් හා පෙඳය වඩා දිගුය. එසේම රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබෙන අතර හොටය ලා කොළ පැහැතිය. උදරය සුදු පැහැයෙන් හා අතර ලය කළු පැහැයෙන් දැකිය හැකිය. වත රතු මල් කොහා තනිව, ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන, වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්‍ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි. සාමාන්‍යයෙන් නිහඬ පක්‍ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වත රතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩයක් ගනී. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ.
වාසස්ථාන විනාශය, අධි කෘමිනාශක භාවිතය, ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම, මැණික් ගැරීම සඳහා කරන වන විනාශය, දඩයම් කිරීම ආදී බොහෝ මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් මෙන්ම, තෙත් වනාන්තර ප්‍රමාණය කුඩා වීම හා මොවුන් වාසය කරන වනාන්තර එකිනෙකින් හුදෙකලාව පැවතීම ආදිය ද මොවුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වීම කෙරෙහි හේතු වී තිබේ. මොවුන්ගේ වඳ වී යාමට මූලික හේතුව වන්නේ ද මිනිසා නම් එයින් ඔවුන්ව වළකා ගත යුත්තන් ද වන්නේ අපමය. ස්වභාවදහමට මනා සුන්දරත්වයක් මුසු කරන මෙම පක්ෂී ප්‍රජාව රැකගැනිම අපගේ පරම යුතුකමකි.
- Rtr. Tharudini Sachithra Perera -
Comments