top of page
LOGO 4 - Copy (2).png

සාගර ජීවයේ හෙට දවස...

  • Writer: Animalia USJ
    Animalia USJ
  • Sep 17, 2021
  • 2 min read

Updated: Oct 9, 2021


ree

ඔබට මිනිත්තු කිහිපයකට හෝ ස්වභාවදර්මයේ නිර්මාණ ආශ්චර්ය විඳීමට උවමනා නම්, මිනිත්තු කිහිපයක් මුහුදු වෙරළේ ගත කරන ලෙස මම යෝජනා කරමි. නිල්වන් රැල, සුදු පෙණ පිඩු මෙන්ම, රැල්ලේ සහ වෙරළේ රඟන ජලජ ජීවීන් ද ඔබට මිහිපිට ස්වර්ගයක් මවාලයි. ගැඹුරු මුහුද ඊටත් වඩා විස්මයජනකය, සජීවීය. සාගරයේ පැවැත්ම හා පරිණාමයේ ආරම්භය පැහැදිලි කිරිම අපහසු ය. නමුත් පරිසර පද්ධත වල ක්‍රියාකාරීත්‍වය හා ඵලදායිතාව පවත්වා ගැනීම සඳහා එය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අවිවාදයෙන් පිළිගත යුතුය.


ree

19 වන සියවසේ කාර්මීකරණය ආරම්භ වූ දා සිට සාගරයේ ජෛව විවිධත්වය ක්‍රමයෙන් අඩු වීම ආරම්භ වී ඇත. ට්‍රෝලර් යාත්‍රා මඟින් මසුන් ඇල්ලීමෙන් වාසස්ථාන විනාශ වීම, සාගරය දූෂණය වීම සහ මුහුදේ දී සිදුවන රසායනික අනතුරු සහ දේශගුණික විපර්යාසයන් මේ සදහා හේතු වී ඇත. ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ශීඝ්‍රයෙන් ජෛව විවිධත්වය පහත වැටෙමින් පවතී. නමුත් ඊට සාපේක්ෂව ගැඹුරු මුහුදේ සහ ධ්‍රැවීය සාගරයේ ඇති ජීවී විශේෂවලින් කුඩා කොටසක් පමණක් මෙතෙක් හඳුනාගෙන ඇති අතර එමඟින් සාගරයේ ජෛව විවිධත්වයට වන හානිය, ගොඩබිමට වඩා වාර්තා කිරීමට හා තක්සේරු කිරීමට අපහසු වේ.


සාගර පරිසර පද්ධතිවල වැදගත්ම කාර්යයක් නම් සාගරයේ ඇති සියළුම ජීවීන් සඳහා මූලික ආහාර ප්‍රභවය නියෝජනය කරන හිරු එළිය සහ පෝෂ්‍ය පදාර්ථවලින් (ප්‍රාථමික ඵලදායිතාවයෙන්) ශාක ජෛව ස්කන්ධය නිෂ්පාදනය කිරීමයි. ලොව පුරා ප්‍රාථමික ඵලදායිතාවයෙන් අඩක් පමණ සාක්‍ෂාත් කරගන්නේ සාගරයේ වැඩෙන හා බෙදෙන ' Phytoplankton ' නම් කුඩා ශාකවලින්ය. පරිසර පද්ධති මඟින් සිදු කෙරෙන තවත් කාර්යයක් නම් වෙරළබඩ පරිසර පද්ධති තුළ වාසස්ථාන හෝ ව්‍යුහයන් ඇති කිරීමයි.


ree

ගංඟා ඔස්සේ ගලා ගෙන එන කෘෂි කාර්මික කටයුතු සඳහා භාවිතා කරන රසායනික පොහොර, රසායනික පලිබෝධ නාශක සහ කර්මාන්තවලින් මුදා හැරෙන අපද්‍රව්‍ය සාන්ද්‍රගත වීම් මඟින් ජල උෂ්ණත්වයේ ශීඝ්‍ර වෙනස්වීම්, ලවණතාව සහ පෝෂක සාන්ද්‍රණයන් වෙනස්වීම්, අධික ලෙස මසුන් ඇල්ලීම, වාසස්ථාන විනාශ වීම් සහ විදේශීය ආක්‍රමණික විශේෂ හඳුන්වා දීම හේතුවෙන් සාගර ගෝලීය ජෛව විවිධත්වය සීඝ්‍රයෙන් පහත යමින් පවතී. මිනිසාගේ මෙබඳු විනාශකාරී ක්‍රියා හමුවේ මහ සයුරේ ජීවය මියයමින් සිටි. මෙය සාගර පරිසර පද්ධතිවල සමස්ත ජීවී ප්‍රජාවට ප්‍රබල තර්ජනයක් වී ඇත. එබැවින් සාගරයේ ජීවය ආරක්ෂා කිරීම සඳහා සැළසුම් සකස් කිරීමේ දී, ගොඩබිමින් සාගරයට සිදුවන බලපෑම් පාලනය සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම ඔබ, අප සැමගේ යුතුකමක් බව තරයේ මතක තබාගැනීම වැදගත් වේ.


- Rtr. Deshini Kaushalya -


Comments


© 2021 RACUSJ Animalia

bottom of page