top of page
LOGO 4 - Copy (2).png

සත්ව ජීවිතවලට ඛේදනීය ඉරණමක් අත් කරන නීති විරෝධී ශාක හා සත්ව වෙළඳාම...


යම් දිනක ඔබේ මනුෂ්‍ය ජීවිතයට හෝ වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතයකට මුදලින් වටිනාකමක් තක්සේරු කිරීමට සිදු වුවහොත් ඔබට එය සිදු කළ හැකි වේවිද? ශාක හා සතුන් අප වාසය කරන මිහිතලයේ වැදගත්ම මූලාරම්භක බීජ වේ. මිනිසා යනු හුදෙක් එම මූලාරම්භ බීජයන්ගෙන් පරිණාමය වූ මිහි මවගේ තවත් එක් නිර්මාණයක් පමණි. එබැවින් ශාකයක හෝ සතෙකුගේ ජීවිතයක වටිනාකම තක්සේරු කිරීමට මිනිසාට ඇති අයිතිය කුමක්ද යන්න සිතා බැලිය යුතු කරුණකි. වර්තමානය වන විට මිනිසා තමන්ගේ රස නහර පිනවීමේ ආශාව උදෙසාත් මුදලට ඇති කෑදරකමත් හේතු කොටගෙන සිදු කරන නීති විරෝධී ශාක හා සත්ව වෙළඳාම ශාක හා සත්ත්ව ප්‍රජාවට සැබැවින්ම ඉමහත් තර්ජනයක් වී ඇත.


විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ද දුර්ලභ, ආවේණික ශාක හා සතුන්, සත්ව සම්, ඇත් දළ හා සත්ව මාංශවල රහසිගතව සිදු වන නීති විරෝධී වෙළඳාම් පවතී. 2020 ජුනි මාසය තුළ ඉතියෝපියාවේ දී දඩයම්කරුවන් විසින් අලි ඇතුන් හය දෙනෙකු පමණ ඝාතනය කළ අතර එය නැගෙනහිර අප්‍රිකානු ජාතිය තුළ මතකයේ තබා ගත් විශාලතම ඝාතනයයි. ශ්‍රී ලංකාව තුළ වනාන්තරවල ජීවත් වන සද්ධන්තයන්ගේ අහිංසක ජීවිත වෙඩි උණ්ඩයකට බිලි වන්නේ ද මෙම නීති විරෝධී ඇත්දළ ජාවාරම් හේතුවෙනි. එමෙන්ම ගෝනුන්ගේ හා මුවන්ගේ අං තට්ටු, මුවන්ගේ හා කොටින්ගේ සම් ආදිය ලොව පුරා ඉතාමත් රහසිගතව සිදු වන නීති විරෝධී වනජීවී වෙළඳාම් වේ. තමන්ගේ නිවසෙහි කලාලයක් ලෙසට හෝ බිත්තියේ සවි කරන විසිතුරු භාණ්ඩයක් උදෙසා අහිංසක සත්ව ජීවිතයක් විනාශ කිරීමෙන් මිනිසා ලබන්නාවූ තෘප්තියෙහි යථාර්ථය ඔවුන්ගේම අනාගත දරු පරපුර විනාශකර සතුටු වන්නාක් නොවේද?


බොහෝමයක් වනජීවී වෙළඳාම් නීත්‍යානුකූල විය හැක. නමුත් ලොව පුරා ජනගහනය පුළුල්වත්ම මෙම වෙළඳාමට ඇති ඉල්ලුම වැඩි වී ඇත. එමෙන්ම එය නීතී විරෝධීව ද සිදුවේ. 1970-2000 අතර කාලය තුළ පෘථිවියේ ජීවි විශේෂවල ගහනය සාමාන්‍යයෙන් 40% කින් පමණ අඩු වූ අතර වාසස්ථාන විනාශ වීමෙන් පසු ජීවි විශේෂවල පැවැත්මට ඇති දෙවන විශාලතම තර්ජනය වන්නේ මෙම නීති විරෝධී වනජීවී වෙළඳාමයි. මෑතකදී වනජීවීන් අධික ලෙස වෙළඳාමට ලක්වීම නිසා ගණනය කළ නොහැකි විශේෂ ගණනකට එය බලපා ඇත. කොටීන්, දිවියන්, රයිනෝසිරසයන්, අලි ඇතුන් හා වෙනත් බොහෝ විශේෂ මේ සඳහා උදාහරණ වේ.

සමහර ග්‍රාමීය කුටුම්භයන් මස් ප්‍රෝටීන් සඳහා දේශීය වන සතුන් මත සහ ඉන්ධන සඳහා දේශීය ගස් මත යැපෙන අතර, වන සතුන් සහ ශාක යන දෙකම ලෝකයේ බහුතර ජනතාව භාවිතා කරන සාම්ප්‍රදායික බෙහෙත්වල සංරචකද සපයයි. එනිසා මිනිස් ජීවිතවල පැවැත්මට පමණක් නොව සංකීර්ණ ජීවන ජාලයකට ඇතිවන බරපතල බාධාවන් වළක්වා ගැනීම සඳහා වන ජීවී විශේෂ හා ඔවුන්ගේ වාසස්ථානවල සුරක්ෂිත බව තහවුරු කිරීම ඉතාම වැදගත් වේ.


CITES (වන සතුන්ගේ හා වෘක්ෂලතා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය) යනු විවිධ රජයන් අතර ජාත්‍යන්තර එකඟතාවයකි. එහි අරමුණ වන්නේ වන සතුන්ගේ නිදර්ශක සහ ශාකවල පැවැත්මට තර්ජනයක් නොවන ලෙස ජාත්‍යන්තර වෙළඳාම සහතික කිරීමය. 2012 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ රේගු බලධාරීන් විසින් අප්‍රිකානු අලි ඇතුන්ගෙන් ලබාගත් ටොන් 1.5 ක් පමණ බරැති ඇත් දළ 359 ක් පමණ අත්අඩංගුවට ගෙන එම ඇත් දළ තොගය කොළඹ ගාලුමුවදොර පිටියේදී පුළුස්සා දමන ලදී. දකුණු ආසියානු රටක් නීති විරෝධී ඇත් දළ තොගයක් විනාශ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය විය.


දිනෙන් දින දියුණු වන ලෝකයේ මිනිසාට නිර්මාණය කළ නොහැකි දෙයක් නොමැති තරම්ය. නමුත් කිසි දිනක මිහිතලයේ මූලාරම්භක බීජ වන මෙම ශාක හා සත්ත්ව ප්‍රජාවට කෘතීම විකල්ප මිනිසාට නිර්මාණය කළ නොහැක. වරක් එම සම්පත මිහිතලයෙන් තුරන් වුවහොත් එය නැති වන්නේ සඳහටමය. මිනිසාට පිරමීඩයක් නැවත නිර්මාණය කළ හැකි වේ. නමුත් මිහිතලයෙන් තුරන් වූ සත්ව විශේෂයන් හෝ ශාක විශේෂයන් මිනිසාට නැවත නිර්මාණය කළ හැකි නොවේ. එබැවින් මෙවැනි නීති විරෝධී වනජීවී වෙළඳාම් සඳහා නිසි ලෙස නීතී ක්‍රියාත්මක කිරීමට හා අනාගත පරපුර වෙනුවෙන් මෙම වටිනා දායාදයන් රැක ගැනීම බලධාරීන් සතු වගකීමක් මෙන්ම මහපොළොව මත වාසය කරන පුද්ගලයන් විදියට අප සියලු දෙනාගේ ද වගකීමක් බව තරයේ මතක තබාගත යුතුවේ. මේ ඒ සඳහා ක්‍රියාත්මක වීමට සුදුසුම කාලයයි.


- Rtr. Samodi Randika Perera -

Comments


bottom of page